ඇමරිකාවේ NSA, නැතිනම් ජාතික ආරක්ෂක ඒජන්සිය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ අඩුලුහුඬුතා පාවිච්චි කරලා රහස් මෙහෙයුම්වලට යොදා ගත්තු විදිහ ගැන වගේම, ඒවා කළේ කොහොමද කියන එක ගැනත් රහස් තොරතුරු බොහොමයක් මෑතකදී ‘ලීක්’ වෙලා තිබුණා. මේවා හොරකම් කරලා අන්තර්ජාලයට මුදා හරින්න කටයුතු කරලා තියෙන්නේ Shadow Brokers (වචනවල තේරුමෙන් ගත්තොත් ‘සෙවනැලි තැරැව්කරුවෝ’) කියලා තමන්ව හඳුන්වා ගන්න හැකර්වරුන් පිරිසක්. ඔවුන් දැන් මේ පැතිරිලා යන WanaCrypt0r 2.0 නිර්මාණය කළාද කියන එක නම් තවම තහවුරු වෙලා නැහැ, සමහර විට මේක shadow brokersලා දාපු තොරතුරුවලින් අනිසි ප්‍රයෝජන අරගන්න හිතන බාහිර පුද්ගලයෙකුගේ / පිරිසකගේ වැඩක් වෙන්නත් පුළුවන්.
කවුරු හදපු එකක් වුණත් මේක බොහොම විනාශකාරී පරිගණක වැඩසටහනක්. ඔබේ වින්ඩෝස් පරිගණකයට ඇතුළු වෙලා, තියෙන වැදගත් දත්ත සේරම පාවිච්චි කරන්න බැරි විදිහට අගුළු දාන එක තමයි මේකෙන් සිදු කෙරෙන්නේ. ක්‍රියාකාරිත්වය අතින් තරමක් දුරට අපි Zip, Rar වගේ ෆයිල්වලට පාස්වර්ඩ් දානවා වගේම දෙයක් තමයි. පාස්වර්ඩ් එක නැතිව ෆයිල් එකේ තියෙන දේවල් බලන්න බැහැ. මේක වැදගත් දත්ත සුරක්ෂිත කරන්න තියෙන encrypt (කේතාරක්ෂණය) කිරීමේ තාක්ෂණය වැරදි විදිහට පාවිච්චි කිරීමක්. ඒ විදිහට පාවිච්චි කරන්න බැරි වෙන්න අගුළු දාන දත්ත ටික ආපහු ගන්න නම් සල්ලි දීලා පාස්වර්ඩ් එකක් (හරියටම කිව්වොත් නම් decryption key එකක්, නැතිනම් ‘විකේතන සූචියක්’) මිලදී ගන්න කියලා පණිවිඩයක් එනවා.
ඉතින් අපේ පරිගණකයේ තියෙන වැදගත් දත්ත කිසිම එකක් පාවිච්චි කරන්න බැරි වෙන විදිහට අගුළු දාලා, ඒවායේ අගුළු විවෘත කරන්න නම් සල්ලි ගෙවන්න කියන එක තමයි සරලව කිව්වොත් මේකෙන් කෙරෙන්නේ. එසේ මෙසේ ගණනකුත් නෙවෙයි, ඇමරිකන් ඩොලර් 300ක්, රුපියල්වලින් 45,000ක විතර මුදලක්. ඒ ගෙව්වත් වැඩේ කෙරෙයි කියලා විශ්වාසයක් තියන්නත් බැහැ.
මොකක් හරි දෙයක් වෙනුවෙන් මුදල් හරි, වෙනත් ප්‍රතිලාභයක් හරි ඉල්ලා සිටින පරිගණක වැඩසටහන් හඳුන්වන්නේ Ransomware, නැතිනම් කප්පම් මෘදුකාංග කියලයි. WanaCrypt0r 2.0 වගේම පරිගණකයක තියෙන දත්ත පාවිච්චි කරන්න බැරි තත්වයකට පත් කරලා ඒක හදලා දෙන්න නම් සල්ලි එවන්න කියන එක තමයි මේවයේ ක්‍රමවේදය. Ransomware ගැන පුළුල්ව විස්තර දැන ගන්න කැමති නම් අපි කලින් පළ කරපු මේ ලිපියත් කියවා බලන්න පුළුවන්.
අද කාලේ කෙනෙක් පැහැර ගෙන කප්පම් ඉල්ලීම අසාර්ථක වෙන්න සල්ලි ගන්න කෙනාව හඳුනාගන්න තියෙන හැකියාව ප්‍රධාන හේතුවක්. එ්ත් WanaCrypt0r 2.0 වලින් මේ වැඩේ කරන්නේ Bitcoin හරහායි. අන්තර්ජාලයේ ආරක්ෂිතව ගණුදෙනු කරන්න පාවිච්චි වෙන මුදල් විශේෂයක් වන Bitcoin ලබා ගන්නා තැනැත්තා හඳුනා ගන්න ඉතාම අපහසුයි. ඉතින් Bitcoin මාර්ගයෙන් අනිසි ක්‍රියා කරන්න පෙළඹෙන පිරිස දැන් වැඩි වෙලා තියෙනවා. මොකද තමන්ගේ අනන්‍යතාව ආරක්ෂා කර ගන්න ලේසියි නේ.
අපේ පරිගණකයේ දත්ත හිර කිරීමෙන් අවසන් නොවී ඊමේල්, පෙන් ඩ්‍රයිව්, නෙට්වර්ක් (වයි ෆයි නෙට්වර්ක් ඇතුළුව) හරහා ගිහින් තවත් පරිගණක විශාල ප්‍රමාණයකටත් කරදර කරන්න හොඳට හදපු WanaCrypt0r 2.0 වගේ ransomware එකකට හැකියාව තියෙනවා. ඉතින් විශාල ආයතනයක එක පරිගණකයකට මේක ඇතුළු වුණොත් මුළු පරිගණක පද්ධතියම අකර්මණ්‍ය වෙන්න පවා පුළුවන්.
අනිත් බොහෝ දේවල් වගේම මයික්‍රෝසොෆ්ට් ආයතනය කියන විදිහටම අපි පරිගණකය පාවිච්චි කරනවා නම් ඇත්තටම මේ ගැන බය වෙන්න දෙයක් නැති තරම්. ඔවුන් අපිට කියලා තියෙන්නේ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය දාගෙන, ලැබෙන අප්ඩේට් සේරම ඉබේම ස්ථාපනය වෙන විදිහට තියා ගන්න කියලානේ. නමුත් විවිධාකාර හේතු නිසා අපේ රටෙත් බොහෝ දෙනෙක් පැරණි මෙහෙයුම් පද්ධති (OS) පාවිච්චි කරනවා. මෙතනදී පැරණි කියලා කියන්නේ OS එක හඳුන්වා දුන්නු වර්ෂය ගැන විතරක් නෙවෙයි, අවසාන වරට තමන්ගේ පරිගණකය අප්ඩේට් කළේ කවදාද කියන එක තමයි වඩාත්ම වැදගත්.
වින්ඩෝස් මෙහෙයුම් පද්ධති අතරින් බොහෝ දෙනා අතර ප්‍රචලිතව තිබුණු වින්ඩෝස් XP සඳහා ආරක්ෂාව සලසන එක 2014 වර්ෂයේ නවතා දැමුණා. තවමත් Vista ඒ ගොඩට වැටිලා නැති වුණත් ඒක පාවිච්චි කරන පිරිස හරිම අඩු නිසා ලොකු ගැටළුවක් නැහැ. වින්ඩෝස් 10 පාවිච්චි නොකරන වැඩි දෙනා වින්ඩෝස් 7, 8 සහ 8.1 කියන OS තුනෙන් එකක් තමයි බොහෝ විට භාවිත කරන්නේ.
වින්ඩෝස් 7 සහ 8.1 වෙනුවෙන් මයික්‍රෝසොෆ්ට් සමාගම නිරන්තරයෙන් අප්ඩේට්ස් නිකුත් කළත් වැඩි දෙනා ඒවා ඇතුළත් කර ගන්නේ නැහැ. මේකට ඇත්තටම සාධාරණ හේතු බොහෝමයකුත් තියෙනවා. සමහර වෙලාවට හොඳට වැඩ කරන පරිගණකයේ ගැටළු මතු වෙන්න මේවා හේතු වෙන්න පුළුවන්. ඒ වගේම ක්‍රැක් කරලා තියෙන මෘදුකාංගවල සමහර වෙලාවට ක්‍රැක් අහෝසි වෙන්න පුළුවන්. (අපේ රටේ අය සල්ලි දීලා අරගෙන මෘදුකාංග පාවිච්චි කරන්නේ හරිම අඩුවෙන්නේ) ඒ අතරම විශාල වශයෙන් ඩේටා වැය වෙන එකත් ගැටළුවක්.
හැබැයි ඉතින් එයාලා මේ ප්‍රශ්නෙට කලින්ම පිළියම් යොදලා තියෙන නිසා අපිට මයික්‍රොසොෆ්ට් එකට බනින්න බැහැ. වගකීම තියෙන්නේ අපි අතේමයි. තවමත් XP පාවිච්චි කරන අය වෙනුවෙන් සහ වින්ඩෝස් 8 පාවිච්චි කරන අය වෙනුවෙන් පවා විශේෂ අප්ඩේට් නිර්මාණය කරන්න මයික්‍රොසොෆ්ට් අායතනය කටයුතු කරලා තිබෙනවා. එ්වා මෙතැනින් ලබා ගන්න පුළුවන්.
මීට කලින් ආපු සමහර බාල වර්ගයේ කප්පම් මෘදුකාංගවලට පහසුවෙන් ඇතුළු වෙලා දත්ත බේරලා දෙන්න හැකියාව තිබුණා. ඒ විතරක් නෙවෙයි, සමහර මෘදුකාංග බොරුවට බය කරලා සල්ලි ඉල්ලන අවස්ථා පවා තිබුණා. (ෆයිල්වලට කිසි දෙයක් වෙලා නැහැ, නමුත් මේ පණිවිඩය දැක්කාම බය වෙලා සමහරු සල්ලි යවනවා) කොහොම වුණත් නිකමට සර්ච් කරලා බැලුවොත් පෙනේවි මෙවර කරළියට ආව WanaCrypt0r 2.0 එක ඇත්තටම භයානක බව.
මහා බ්‍රිතාන්‍යය ඇතුළුව එක්සත් රාජධානියේ සම්පූර්ණ ජාතික සෞඛ්‍ය සේවාවම (NHS එක) බිඳ වට්ටන්න මේ වැඩසටහන සමත් වුණා. බොහෝ දුරට ලෙඩ්ඩුන්ගේ දත්ත පරිගණකගත කරලා තියෙන නිසා වෛද්‍යවරුන්ට ඒවා දැන් හොයා ගන්න බැහැ, ඒ නිසා බෙහෙත් නිවැරදිව දෙන්න විදිහක් නැහැ. ඊට අමතරව ඔන්ලයින් චැනල් කිරීමේ සේවාව ඇතුළු වැදගත් සේවා බොහොමයක් අකර්මණ්‍ය වෙලා ගිහින්.
ඊට අමතරව ස්පාඤ්ඤයේ Telefonica දුරකථන සමාගමට, ජර්මනියේ දුම්රිය සේවාවට සහ රුසියාව පුරා ආයතන බොහොමයකට WanaCrypt0r 2.0 ඇතුළු වෙලා දත්ත අගුළු දාලා තියෙනවා. යුරෝපය සහ රුසියාව බොහෝ දුරට ගැටළුවලට මුහුණ දුන්නත් මේක ඔවුන්ට විතරක් බලපාන දෙයක් නෙවෙයි. ප්‍රසිද්ධ ප්‍රතිවයිරස් වැඩසටහන් නිර්මාණය කරන සමාගමක් වන Kaspersky එකේ ඇස්තමේන්තුවක් අනුව දැනටමත් මේ නිසා උතුරු සහ දකුණු ඇමරිකානු රටවල් බොහොමයක්, යුරෝපය, රුසියාව, ඉන්දියාව, චීනය ඇතුළු රටවල් 99ක තියෙන පරිගණක ජාල 230,000කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. මේක ඇත්තටම ගෝලීය මට්ටමේ ප්‍රශ්නයක් බවට පත් වෙලා.
ඒ නිසා මේ යකා නම් හිතුවාටත් වඩා කළුයි කියලා තමයි කියන්න වෙන්නේ.
Stuxnet වගේ රාජ්‍ය මට්ටමෙන් කරන රහස් සයිබර් මෙහෙයුම්වලදී තමන්ගේ සතුරන්ට එරෙහිව බොහොම ඉලක්කගත ප්‍රහාරයක් තමයි එල්ල කරන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවන්වල පැත්තකින් ඉන්න අපි වගේ සාමාන්‍ය පිරිසට ගැටළු ඇති වෙන අවස්ථා අඩුයි. ඒක හරියට ඉලක්කය බලලා වෙඩි තියනවා වගේ දෙයක්. ඉලක්කයට ලක් වෙන කෙනාට අනතුරක් වෙන්න ලොකු අවදානමක් තිබුණත් අනිත් අයට ඒ ගැන ලොකුවට වද වෙන්න දෙයක් නැහැ.
නමුත් මේ WanaCrypt0r 2.0 එහෙම විශේෂයෙන් ඉලක්ක කරලා හදලා නැති නිසා ඕනෑම වින්ඩෝස් පරිගණකයකට ඇතුළු වෙලා, දත්ත අගුළු දාලා ප්‍රශ්න ඇති කරන්න හැකියාව තියෙනවා. ඒක හරියට ගල් අහුරක් හරි, ලොකු බෝම්බයක් හරි අරගෙන පිරිසක් දිහාවට දමලා ගහනවා වගේ. හැමෝටම අනතුරු වෙන්න ඉඩකඩ තියෙනවා.
අනිත් කාරණාව තමයි මේ විනාශකාරී වැඩසටහන නිර්මාණය කරපු කෙනාගේ / අයගේ මුදල් ඉපයීමේ අවශ්‍යතාව. වැඩි පිරිසක් ප්‍රශ්නයට මුහුණ දුන්නාම ඔවුන්ට ඒ හරහා ලැබෙන ආදායම වැඩි කර ගන්න පුළුවන්. ඉතින් ස්වභාවයෙන්ම පුළුවන් තරම් පැතිරිලා යන්න පුළුවන් විදිහට මේක නිර්මාණය කරලා තියෙනවා.
හැම දේම පරිගණක ගත වීමත් එක්ක අපේ දත්තවල තියෙන වටිනා කම තවත් වැඩි වෙලා තියෙනවා. ලොකු ලොකු ආයතනවලට අති විශාල දත්ත ප්‍රමාණයක් නඩත්තු කරන්න සිදු වෙන නිසා ඔවුන්ට තියෙන ගැටළුව ගොඩක් විශාලයි. ඉතින් මේ වගේ දත්ත අගුළු දාන වැඩසටහනක් හදලා විශාල මුදලක් හොයා ගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. සමහර විට මේ ගැන ලෝක මාධ්‍යවලින් දෙන ප්‍රචාරය තවත් පිරිස් ඒ දේවල් හදන්න යොමු වෙන්නත් හේතුවක් වේවි.
කොහොම නමුත් අපිට මේ වගේ දේකින් ආරක්ෂා වෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි මයික්‍රොසොෆ්ට් ආයතනයේ උපදෙස් පිළිපදින එක. ඔවුන් මේ ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ ගැටළුවෙන් ආරක්ෂාව ලබා ගන්න අප්ඩේට් එකක් හඳුන්වා දීලා තියෙනවා. දැනට කරන්න තියෙන හොඳම දේ ඒ අප්ඩේට් එක ඉන්ස්ටෝල් කර ගන්න එක තමයි.
ඇත්තටම අපි හැමෝම පසුගිය මාස දෙක ඇතුළත ආපු අප්ඩේට් සේරම ස්ථාපනය කරගෙන තිබුණා නම් මේ ගැන බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. මොකද මේ ප්‍රශ්නයට ආරක්ෂාව සපයන අප්ඩේට් එකක් ඔවුන් 2017 මාර්තු 15 වෙන විටත් නිකුත් කරලයි තිබුණේ. (ඔබේ OS එක වින්ඩෝස් 7, 8.1 හෝ 10 නම්, මාර්තු 15න් පසුව වින්ඩෝස් අප්ඩේට් සියල්ලම ඉන්ස්ටෝල් කළා නම් දැනටමත් ඔබ ආරක්ෂිතයි) මාස දෙකක් තිස්සේ ඒ දේ නොකරපු පිරිස සහ යල් පැනගිය වින්ඩෝස් XP, වින්ඩෝස් 8 වගේ OS අළුත් අප්ඩේට් එක නොදා පාවිච්චි කරන පිරිසට තමයි ගැටළුවට මුහුණ දෙන්න ඉඩක් තියෙන්නේ.
වින්ඩෝස් කියන්නේ ආපු දවස්වල ඉඳලාම වැඩිම සයිබර් ප්‍රහාර ගණනකට ලක් වෙන, ආරක්ෂාව අතින් බොහොම අඩු OS එකක්. පාවිච්චි කරන පිරිස වැඩි වීම වගේම පාවිච්චි කරන බහුතරයක් දෙනා සතු පරිගණක දැනුම අඩු වීමත් මේ ප්‍රහාර සාර්ථක වෙන්න ලොකු හේතුවක් වෙලා තියෙනවා. ඒ නිසා වින්ඩෝස් අත්හරිනවාද කියලාත් දැන් අළුත් කතා බහක් ඇති වෙලා තියෙනවා. මේකෙන් කියන්නේ දැන් තියෙන පරිගණකය අත හැරලා දාන්න කියන එකම නෙවෙයි, නමුත් කාලයක් තිස්සේ වෙනත් OS එකකට මාරු වෙන්න හිතාගෙන හිටපු කෙනෙක්ට මේක ඒ ගැන අායෙත් අවධානය යොමු කරන්න හොඳ අවස්ථාවක්.
වින්ඩෝස් පාවිච්චි කරන කෙනෙකුට මාරු වෙන්න පුළුවන් මෙහෙයුම් පද්ධති දෙකක් තියෙනවා. එකක් OS X, අනික Linux. ඇපල් සමාගමේ OS X එක ඇත්තෙන්ම ආරක්ෂාව අතින් බොහොම ඉහළයි. ඇපල් සමාගමේ අනිත් උපාංග වගේම ඔවුන්ගේ Mac පරිගණක සියල්ලම ඇපල් සමාගමේ ඍජු පාලනය යටතේ තියෙන නිසාත්, පාවිච්චි කරන පිරිස අඩු නිසාත් ඇපල් උපාංගවලට මේ වගේ ප්‍රහාර එල්ල වෙන්න තියෙන අවස්ථාව හරි අඩුයි. කොහොම නමුත් ලොකු වැඩ ගොඩක් නොකර අපි පාවිච්චි කරන අනිත් සමාගම්වල පරිගණක, ලැප්ටොප්වලට OS X දාන්න බැහැ. (සාර්ථකව ඒ වැඩේ කරගන්න තරමට දැනුමක් තියෙනවා නම් වින්ඩෝස් තියෙද්දීම වුණත් ආරක්ෂිතව ඉන්න ඔබට පුළුවන් වේවි) OS X හරියට පාවිච්චි කරන්න නම් ඉතින් හැමෝම වගේ ඇපල් සමාගමේ පරිගණකයක්ම මිලට ගන්න ඔබටත් සිද්ධ වෙනවා.
අනිත් ක්‍රමය තමයි Linux. Linux වර්ගයේ OS අතරින් බොහෝ දෙනා පාවිච්චි කරන Ubuntu දැන් ඉතාම ජනප්‍රියයි. Linux අනිත් OS වගේම උබුන්ටුත් නීත්‍යානුකූලව, නොමිලේම ලබා ගන්නත් හැකියාව තියෙනවා. Linux බොහොම ආරක්ෂිත මෙහෙයුම් පද්ධති වර්ගයක් නිසා සයිබර් ප්‍රහාරවලින් ලොකු ආරක්ෂාවක් සලසා ගන්නත් පුළුවන්. ඕනෑම පරිගණකයක (තරමක් පැරණි පෙන්ටියම් ප්‍රොසෙසරයක් ඇති එකක වුණත්) ගැටළුවක් නැතිව Linux ස්ථාපිත කරලා වැඩ කරන්න පුළුවන්.
කොහොම නමුත් මෘදුකාංග හිඟ වීම, භාවිතයේ අපහසුව (විශේෂයෙන්ම වින්ඩෝස්වලටම පුරුදු වුණු කෙනෙකුට) වගේ ප්‍රශ්න ගොඩක් නිසා Linux පාවිච්චියත් තරමක් අසීරු වැඩක්. ඇත්තටම තවමත් වැඩි දෙනා වින්ඩෝස් පාවිච්චි කරන්නේ කාටත් ගැළපෙන විකල්පයක් නැති නිසාම තමයි.
ඉතින් ඇත්තටම පරිගණකයේ OS එක මාරු කරන එක ප්‍රායෝගික වැඩක් නෙවෙයි. කලින් කියපු ක්‍රමවලට යම් ආරක්ෂාවක් සලසා ගන්න එක වගේම කරන්න පුළුවන් තවත් දෙයක් තියෙනවා, ඒ තමයි වෙනත් ස්මාට් උපකරණ පැත්තට හැරෙන එක.
ඇත්තටම ඉස්සර කාලේ පරිගණකයක් අවශ්‍ය වුණු වැඩිමනත් දේවල් දැන් ස්මාට් දුරකථන, ටැබ් හරහා කරන්න පුළුවන්. ඔබ අනවශ්‍ය ඇඩ් ක්ලික් කරලා, දකින දකින ඇප් ඉන්ස්ටෝල් කරන්නේ නැති නම් බොහෝ දුරට android මෙහෙයුම් පද්ධතියේ අලුත් සංස්කරණ වුණත් සැළකිය යුතු මට්ටමකට ආරක්ෂිතයි. ඇපල් සමාගමේ උපාංග නම් Jailbreak නොකරන තාක් කොහොමත් ආරක්ෂිතයි. වීඩියෝ එඩිට් කරන, ග්‍රැෆික් ඩිසයින් කරන වගේ ලොකු ලොකු වැඩ එහෙම තවමත් මේ උපාංගවලින් හොඳින් කර ගන්න බැරි වුණත් අන්තර්ජාලයේ සැරිසරන්න, වීඩියෝ නරඹන්න (කෙලින්ම හරි, TV එකක් හරහා හරි), කොටින්ම කියනවා නම් වර්ඩ්, එක්සෙල් වගේ දේවල්වලින් කරන ලිපි ආශ්‍රිත කටයුතු වුණත් ඉතාම සාර්ථකව පුළුවන් මට්ටමට ස්මාට් දුරකථන, ටැබ් වගේ උපකරණ අද දියුණු වෙලා තියෙනවා. ඉන්ටර්නෙට් යාම ඇතුළු බොහෝ දේවල් අද ස්මාට් TV එකක් හරහා වුණත් කරන්න පුළුවන්. මේ උපාංග සයිබර් ප්‍රහාරවලින් 100%ක් ආරක්ෂිත නැතත් වින්ඩෝස්වලට වඩා නම් ආරක්ෂිත බවට තර්කයක් නැහැ.
අනිත් දේ තමයි තමන්ගේ ‘වැදගත්’ දත්ත ස්ථාන කිහිපයක තබා ගන්න එක. මෙතනදී වැදගත් කියලා කියන්නේ නැතිවම බැරි, ආපසු ලබා ගන්න බැරි දේවල්. බොහෝ දෙනාගේ පරිගණකවල පිරිලා තිබෙන දේවල්වලින් 10%කටත් අඩු ප්‍රමාණයක් තමයි අත්‍යාවශ්‍යම දේවල් තිබෙන්නේ. රැකියාවේ ලිපි ගොණු, වෙනත් පෞද්ගලික වාර්තා වගේ දේවල්, වැදගත් ඡායාරූප, වීඩියෝ වගේ දේවල් සුරක්ෂිතව තියා ගන්න අවධානය යොමු කරන්න. External හාඩ් ඩිස්ක් එකක හරි, එහෙම නැති නම් පෙන් ඩ්‍රයිව් එකක හරි, පුළුවන් නම් Cloud සේවාවල හරි මේ දේවල්වල පිටපත් සුරක්ෂිතව තබා ගන්න. එතකොට මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණත් සිදු වෙන බලපෑම අවම කරගන්න පුළුවන්.
WanaCrypt0r 2.0 ව්‍යසනය වගේ දේවල්වලින් සිදු වෙන එක හොඳ දෙයක් තමයි අපි අද ජීවත් වෙන ලෝකයේ සැබෑ තත්ත්වය ගැන වැඩි පිරිසකගේ අවධානය යොමු වෙන එක. අන්තර්ජාලය කියන්නේ වයස 18 පැනපු ගමන් කිසිම හාවක් හූවක් නැතිව පාවිච්චි කරන්න පුළුවන් දෙයක් කියලා හිතන පිරිසට ඒකෙ තියෙන අනතුරු ගැන අළුතින් හිතන්න මේ දේවල් හේතුවක් වෙනවා. තමන්ගේ පාස්වර්ඩ් ආරක්ෂා කර නොගන්න පිරිස ඊමේල් හරහා ආපු දෙයක් යාළුවෙක් හරි විවෘත කරලා මෙහෙම දෙයක් වුණොත් ඒ ගැන ආයෙත් හිතන්න පටන් ගනීවි. හැමෝම අප්ඩේට්වල වැදගත් කම හඳුනා ගනීවි.
දෙන්න තියෙන හොඳම උපදෙස නම් මයික්‍රෝසොෆ්ට් සමාගමේ උපදෙස් අනුගමනය නොකර ඉන්නවා නම් (පැරණි OS, අප්ඩේට් නවතා දැමීම, සරල පාස්වර්ඩ් පාවිච්චිය වගේ) වැඩිපුර පරිස්සම් වෙන්න කියන එකයි. තාක්ෂණික ලෝකයේ මොන වැඩක් කළත් ප්‍රතිඵල සහ අවදානම ගැන දැනුවත්ව ඉන්න එක හරිම වැදගත්. මේ සිදු වීම නිසා අනාගතයේ අමාරුවේ වැටෙන්න ඉඩක් තියෙන පිරිසෙන් යම් ප්‍රමාණයක් හරි ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙනවා නම්, තාක්ෂණික දැනුම වැඩි කර ගන්න උත්සාහ කරනවා නම්, අපේ ප්‍රාර්ථනාවත් එයයි.
කවරයේ රූපය. (kaspersky.com)
මූලාශ්‍ර:
------------------------------------------------------------------------------------
උපුටා ගැනීමකි : https://roar.tech/insights/sinhala-what-is-wanacryptor-and-how-to-avoid-it/